(තරිඳු ජයවර්ධන සහ ඉන්දිකා රාමනායක)
 
සෞඛ්‍ය අමාත්‍යංශයට කඩා වැදී පොදු දේපොළ විනාශ කිරීමේ සිද්ධියට සැකපිට රිමාන්ඩ් බාරයේ සිටින අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු ලහිරු වීරසේකර ඇතුළු පස් දෙනා ලබන 19 වැනි දා තෙක් යළි රිමාන්ඩ් කරන ලෙස මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළේය.
 
තවත් සිසුන් අට දෙනෙකු හඳුනාගෙන ඇති බවත්, ඔවුන් අත්අඩංගුවට ගැනීමට නියමිත බවත් පොලිසිය කීවේය.
 
මුලින්ම 11.30ට පමණ කැඳවූ අතර දහවල් 1 පමණ වන තුරු නඩුවේ සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කිරීම් සිදු විය. යළි දහවල් දෙකට පමණ පැමිණිල්ල කැඳවූ අතර සවස හතර පමණ වනතුරු කරුණු ඉදිරිපත් කිරීම් සිදු විය.
 
පැමිණිල්ල වෙනුවෙන් පොලිසිය සමඟ නීතිපති දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතීඥ ජනක බණ්ඩාර මහතා පෙනී සිටිමින් කරුණු ඉදිරිපත් කළේය.
 
නඩුවේ පළමු , සිව් වැනි සහ පස් වැනි සැකකරුවන් වෙනුවෙන් නීතීඥ රෙක්සි පියදාස මහතා සමඟ ගාමිණී ඒකනායක මහතා ද, දෙවැනි සැකකරු වෙනුවෙන් නීතීඥ නුවන් බෝපගේ, චතුර වෙත්තසිංහ, ජයන්ත දෙහිඅත්තගේ සහ අසිත සිරිවර්ධන මහත්වරු ද, තුන් වැනි සැකකරු වෙනුවෙන් නීතීඥ ධම්මික මහතා ද පෙනී සිටියහ.
 
සිකකරුවන්ට ඇප ලබා දෙන ලෙස ඉල්ලමින් නීතීඥවරු දිගින් දිගටම කරුණු ඉදිරිපත් කළහ.
 
මෙම සැකකරුවන් පොදුදේපොළ පනත යටතේ නඩුව අවසන්වන තුරු රිමාන්ඩ් බාරයේ තැබිය හැකි බවත්, සුවිශේෂී කරුණු නැතිනම් ඔවුන් තවදුරටත් රිමාන්ඩ් කරන ලෙසත් පොලිසිය සහ නීතිපති දෙපාර්තමේන්තුවේ නීතීඥවරයා ඉල්ලා සිටියේය.
 
සැකකරුවන්ට ඇප ලබා දීමට තරම් සුවිශේෂී කරුණු ඉදිරිපත් නොවූ බව තීරණය කළ මහේස්ත්‍රාත්වරයා සැකකරුවන් ලබන 19 වැනි දා තෙක් යළි රිමාන්ඩ් කරන ලෙස නියෝග කළේය."